“ … ඒ හැරෙන්නට ඔයාලා අපිව හුස්ම ගන්න හුළං නොලැබෙන විදියට හිර කළා.
අපේ ලේ නහර වල දුවන ජවය පුපුරා යන තරම් තදින් හිර කළා! ඉතිහාසයේ කෙදිනක හෝ උසුලා නොගත් බරක් ඔබලාගේ උරහිස් වලින් උසුලා ගෙන ඉන්නට ඔබලා බාරගෙන! ප්රතිඵලය ඔබ කරන ක්රියාවන් යුක්ති සහගත කරනවා යැයි ඔබ කීවා. ඒත් ඔබලාගේ ප්රතිඵලය, සහෝදරවරුනි? කුමක් ද ඔබේ ප්රතිඵලය?”
සමාජයේ සභාපතිවරයා සිය මිටියෙන් මේසයට තඩි බෑවේ ය. “ටැගනොව් සහෝදරයා, සභාවේ නීති පිළිපදින සේ මම මතක් කරනවා!” ඔහු කෑ ගැසීය. “ඔබ කරුණාකරලා ඔබේ කතාව කෘෂිකාර්මික තත්වය ගැන වාර්තාවට සීමා කරන්න.”
රැස් වී සිටි හිස්ගෙඩි අතරින් සෙලවිල්ලක් පැතිර ගියේ ය. දිගු අඳුරු කොරිඩෝවේ දිගින් දිගට රහසින් කොඳුරන බස් ඇසිණ. කොහේදෝ ඈත පිටුපස කොනක කාටදෝ තද කරගත හැකි නොවූ හිනාවක් එළියට පැන්නේ ය.
කථිකස්ථානයේ අන්ද්රෙ ටැගනොව් සිටගෙන සිටියි. සභාව අන්ධකාරයෙන් වෙළී ඇත. සභාපතිගේ මේසයට උඩින් එක විදුලි බල්බයක් දිළෙයි. අන්ද්රෙ හැඳ සිටි කළු හම් කබාය ඔහු පිටුපසින් වූ කළු බිත්තය හා එක් වී බොඳ වී ගිහින් ය. කළු දිළිසෙන පසුබිමින් සුදු පැල්ලම් තුනක් දිස්විය. ඒ ඔහුගේ දිගු සිහින් දෑත් සහ මුහුණයි. කළු හිස් බවට උඩින් ඔහුගේ දෑත් එහා මෙහා ගියේ ය. ඔහුගේ මුහුණේ වල ගැසි ඇස් වටයන්, වල ගැසුණ කම්මුල් විය. ඔහුගේ වදන් ඔහුට පවා ඇසෙන්නෙ නැති ලෙසකින් මොට වූ බවකින් යුතු විය:
“ඔව්, කෘෂිකාර්මික තත්වය, සහෝදරයෙනි, …. පසුගිය මාස දෙකේ දී, අපේ මායිම් ගම්මාන වල පක්ෂ සාමාජිකයන් විසිහයක් මරුමුවට පත් කරලා තියෙනවා. සමාජ නිවාස අටක් ගිනිබත් කරලා. සාමූහික ගොවිපල කඩයක් සහ පාසැල් තුනක් ද ගිනිබත් කරල. ගම්වල බඩු හංගන අරගල විරෝධී අය කිසිත් සමාවක් නැතිව සමතලා කරන්න ඕනා. මොස්කව් ප්රධානීන් පෙන්වා දෙන්නෙ පෙට්රොව්ශිනෝ ගම්මානයේ උදාහරණයයි. ඔවුන්ගේ නායකයෝ කවුදැයි පාවා නොදුන් නිසා පිටිසරවැසියන් පේලියට තියලා හැම තුන්වැන්නා ව ම වෙඩි තියා මැරුවා. ඉතිරි අය බලාගෙන ඉන්ඳැද්දී. ඒ පිටිසර වැසියන් නගරයෙන් ගිය ලෙනින් සමාජයේ කොමියුනිස්ට් සහෝදරයන් තුන් දෙනෙක් ව නිවසේ දොරවල් ජනේල වහලා අගුල් දාලා, පිටින් බෝඩ් ගහල ඒකට ගිනි තිබ්බ. … ඔවුන් ඒක ගිනි ගනිද්දී ඒ දිහා බලාගෙන සිංදු කිව්ව ඇතුලතින් නැඟෙන විලාප ඇහෙන්නෙ නැති වෙන්න. … ඔවුන් වල් මෘගයෝ … ඔවුන් ඉවක් බවක් නොදැන දුවන මෘගයෝ, දොම්නසින් සිහි විකල් වෙච්ච මෘගයෝ … සමහර විට එතැනත් -ඒ ඈත පළාතක වූ ගම්මාන වල -ඒවායේ ද කෙල්ලො ඉන්නවා, තරුණ, කෙළින් ඉන්න, මහපොළව වෙන කිසිවකටත් වඩා වැඩි මහත් අගයෙන් වූ අය. ඔවුන් බලාපොරොත්තු සුන්වීමේ අන්තිම නරකාදියට ගිය අය. ඒවායේ ඉන්නවා පිරිමි. ඒ කෙල්ලොන්ට ජීවිතයටත් වඩා ආදරේ අය. කෙල්ලොන්ට වෙන දේ බලාගෙන ඉන්න වෙච්ච අය. ඔවුන්ට උදව්වක් දෙන්න නොහැකි අය! සමහර විට එයාලත් … ”
“ටැගනොව් සහෝදරයා!” සභාපති ගුගුලේ ය. “මම ඔයාට සභාවේ නීති රීති මතක් කරනවා!” යැයි ගුගුලේ ය.
“ඔව්, සභාපති සහෝදරයා … අපේ මොස්කව් ප්රධානීන් කියනවා … මොකක් ද මම කිව්වේ, සභාපති සහෝදරයා? … ඔව්, ගම්වල බඩු හංගා ගෙන ඉන්න අය … ඔව් පක්ෂයට විශේෂ ක්රියාමාර්ග ගන්න වෙලා තියනවා ඒ ගම්මාන වල අරගල විරෝධීන්ට එරෙහි ව, ඔවුන් අපේ වැදගත් ඉදිරි වැඩ පිළිවෙලේ, පිටිසර වැසි සාමූහිකත්වයේ ප්රගතියට බාධා කරන අය … සංවේගාත්මක හමුදාවක් හැටියට ඇවිත් අපි ජීවත්වන අයට ජීවිතය තහනම් කළා. අපි හිතුවා හුස්ම ගන්න හැම කෙනෙක් ම ජීවත් වෙන්න දන්නවා කියල. ඒක එහෙම ද? ජීවත් වෙන්නෙ කොහොම ද කියලා දන්න අය, අන්න ඒ අයව මොන අරමුණක් වෙනුවෙන් වත් කැප කිරීමට නොහැකි තරම් වටිනා නැද්ද? ජීවත් වෙන්න සටන් වැදීමට වඩා වෙන මොකක්ද තියන වැදගත් අරමුණ? ඉතින් එහෙම සටන් වදින අය, ඒ අය ම නේද අරමුණ විය යුත්තේ, ඒකට යන මාර්ගය නොවී?”
“ටැගනොව් සහෝදරයා!” සභාපතිවරයා ගුගුලේ ය. “මම අණ කරනවා ඔබ සභාවේ නීති රීති රැකිය යුතුයි කියලා!”
“මම මෙතැනට ආවේ මගේ පක්ෂයෝ සහෝදරවරුන් වෙනුවෙන් වාර්තාවක් ඉදිරිපත් කරන්නයි, සභාපති සහෝදරයා. ඒක ඉතා වැදගත් වාර්තාවක්. මම හිතනවා ඔවුන්ට එය අසන්නට අවස්ථාවක් දිය යුතුයි කියලා. ඔව්, ඒක අපේ ගම්මාන වල වැඩ ගැන වූවක්, ඒ වගේම අපේ නගර වල මිලියන ගණනින්, මිලියන ගණනින් ජීවත් වෙන අය ගැන වූවක්. එකම දේ ඒ ගැන ප්රශ්න තියනවා. උත්තර සැපයිය යුතු ප්රශ්න තියනවා. ඇයි අපි බිය වෙන්නේ අපිට ඒවාට උත්තර සපයන්න පුළුවන් නම්? ඒත් අපිට බැරි නම් …? අපිට බැරි නම්? … සහෝදරවරුනි! මා කියන්නට සවන් දෙන්න! අහන්න, නව ජීවිතයකට කැප වූ සටන්කාමීන් වන ඔබලාටයි මේ කියන්නේ! අපි සහතිකයෙන් දන්නවා ද අපි මේ මොනවා ද කරන්නේ කියලා? කාටවත් බැහැ මිනිස්සුන්ට කියන්න ඔවුන් ජීවත්විය යුත්තේ කුමකට දැයි කියලා. කාටවත් ඒ අයිතිය උදුරා ගන්න බැහැ -මොකද මිනිස්සුන්ට හිමි වූ දේවල් තියනවා, අපි අතරින් හොඳම අයට හිමි දේවල්, කිසිම රාජ්යයකට, කිසිම සාමූහිකත්වයකට වඩා ඉහළ වූ දේවල්! ඔබලා අහනවා ද ඒ මොනවා ද කියලා? මිනිසාගේ මොළය සහ ඔහුගේ අගැයුම්. ඔබ දිහා ම බලන්න, අවංක ව, බිය නැතිව. බලන්න, මට කියන්න එපා. කාටවත් කියන්න එපා. ඔයාට විතරක් කියාගන්න. ඔබ ජීවත් වන්නේ කුමකට ද? ඔබ ජීවත් වන්නේ ඔබ සඳහා ම නොවේ ද? ඔබ සඳහා ම පමණක් නොවේ ද? අන්න ඒකට ඔබේ ඉලක්කය යැයි කියන්න, ඔබේ ආදරය කියන්න, ඔබේ අරමුණ යැයි කියන්න – ඒක තවමත් ඔබේ ම අරමුණ නොවන්නේ ද? ඔබේ ජීවිතය දෙන්න, ඔබේ උත්කෘෂ්ටය වෙනුවෙන් දිවි පුදන්න – අන්න ඒක තවමත් ඔබේ ම උත්කෘෂ්ටය නොවන්නේ ද? හැම අවංක මිනිහෙක් ම ජීවත්වන්නේ ඔහු වෙනුවෙන්. එහෙම ජීවත් නොවෙන කෙනා -කිසිසේත් ම ජීවත් වෙන්නෙ නැහැ. ඔබට එය වෙනස් කරන්න බැහැ. ඔබට එය වෙනස් කරන්න බැහැ මොකද ඒ තමයි මිනිහෙක් ඉපදිලා තියෙන හැටි, තනිවම, සම්පූර්ණ, තමන්ව ම අරමුණ කරගත්ත. නීති වලට බැහැ, පක්ෂයකට බැහැ, රහස් පොලීසියකට බැහැ, කවදා වත් මිනිසා තුල තියන ඒ ‘මම’ කියන සිතුවිල්ල මරලා දාන්න. මිනිසාගේ මොළය වහල් කරගන්න බැහැ. පුළුවන් විනාශ කරලා දාන්න පමණයි. ඔබ උත්සාහ කලා. දැන් බලන්න ඔයාලට ලැබෙන්නෙ මොනවා ද කියල. ඔබලා ජයග්රහණය ලබන්න ඉඩ දීලා තියෙන අය දිහා බලන්න. මිනිසාට ඇති හොඳම දේට ඉඩ නොදී බලන්න -ජයගන්නෙ කවුදැයි දකිවී එතකොට. අඩපණ වූ, බඩ ගා ගෙන යන, කොන්ද පණ නැති, කැඩිච්ච රාක්ෂයන් ව බිහි කරන්න ද අපිට ඕනා?”
“ටැගනොව් සහෝ…”
“සහෝදරවරුනි! මේ අහන්න! අපි මේකට උත්තර දෙන්න ඕනා!” කළු ශුන්යනයෙන් දිළිසෙන සුදු අත් දෙකක් විහිදුනි. ඔහුගේ කටහඬ තවත් ඉහළ ගියේ ය, හරියට ගංටාරයක් නාද වෙන්නේ සේ ඇහුණි. වසර ගණනකට පෙර අඳුරු මිටියාවතේ සටන් බිම්වල සුදු අගල් මතින් ඇසුණු ඔහුගේ කටහඬෙනි. “අපි මේකට උත්තර දෙන්න ඕන! අපි උත්තර දුන්නෙ නැත්නම් -ඉතිහාසය අපි වෙනුවෙන් උත්තර දෙයි. එතකොට අපි වැටෙන්නේ කවදා වත් සමාව නොලැබෙන බරක් අපේ දෙවුර මත පැටවිලා! අපේ අරමුණ කුමක් ද, සහෝදරවරුනි? අපි කුමක් ද මේ කරන්නේ? අපිට ඕනා බඩගින්නේ ඉන්න මනුස්සයන් ජීවත් කරන්න කන්න දෙන්න ද? නැත්නම් අපිට ඕනා ඔවුන්ට කන්න දෙන්න ඔවුන්ගේ ජීවයේ බෙල්ල මිරිකලා දාන්න ද?”
“ටැගනොව් සහෝදරයා!” සභාපතිවරයා ගුගුලේ ය. “මම ඔබේ කතාව ඉවත් කරනවා!”
“මම … මම …” අන්ද්රෙල ටැගනොව් හති දැම්මේ ය, කථිකස්ථානයෙන් බැස්සේ වැනි වැනී ය. “මට වෙන කියන්න කිසිවක් නැහැ …”
ඔහු පිටත් වී ගියේ ය, දිගු කොරිඩෝව දිගේ ඇවිද ගියේ ය. උස, කෙට්ටු, තනි රුවකි. ඔහු දිහා බලන්නට හිස් හැරවිණ. අන්තිම පේලියේ කොහේදෝ තැනකින් කවුදෝ දත් අතරින් විසිල් පහරක් ගැසීය. එය දිගු, පහත් ස්වරයෙන් වූ අවඥා සහගත ව පෑ ජයග්රාහී සද්දයකි.
ඔහු පිටුපසින් දොර වැසුනු කළ, කවුදෝ රහසින් කෙඳිරී ය: “ඊ ළඟ පක්ෂ සුද්ද කිරීම එනකම් ටැගනොව් සහෝදරයා බලාගෙන සිටියාවේ!”
*
